ඔබ යනු කවුරුන්ද?ඔබ ඔබගේ සැබෑ ස්වරූපය වටහා ගෙන ඇත්ද?ඔබ ඔබගේ ජීවන මග සාර්ථක කර ගැනීම
සඳහා ඔබව ම හඳුනා ගැනීම ඔබට වැදගත් වනු ඇත. විශේෂයෙන් ම ඔබගේ වර්තමානය ඔබ හඳුනා ගැනීම ඔබගේ අනාගතයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
මොහොතකට සිතන්න.ඔබ කවුරුන්ද යන්න ඔබේ ස්වරූපය ඔබ දැක ඇත්ද?ඔබ ඔබේ ප්‍රතිරූපය පිළිබඳව කොතරම් දැනුවත්ද?බොහෝ දෙනා එය නොදන්නවාට කිසිදු සැකයක් නොමැත.
ඔබ මෙලොව එලිය දුටු දා පටන් ඔබ දෙස බොහෝ ඇස් යොමු වී ඇත. ඔබේ පෞරුෂත්වය,පැතිකඩ ගනනාවකින් ඒ ඇස් වෙත දෘශ්‍යමාන වනු ඇත. ඔබේ පෞරුෂත්වය ගත් කල එහි පැතිකඩ ගනනාවක් ඇත. එයින් ඔබ කෙරෙන් විදහා දක්වන ඔබ තුල පවත්නා සාමාන්‍ය ප්‍රකට පෞරුෂත්වය අප බොහෝ දෙනා යම් තාක් දුරකට අප තුලින් පෙන්නුම් කරනු ලබන අතර අප පිටතට විදහා දැක්වීමට අසමත් කොතරම් පෞරුෂත්ව පැතිකඩයන් අප තුල ඇත්ද? ඒවා සැබැවින්ම අප්‍රකට පෞරුෂත්ව පැතිකඩයන් ලෙස හඳුනා ගත හැකිය. කුඩා කල අප අත් දුටු සතුට දනවන චිත්තවේගයන් ඇසුරින් අප තුල ප්‍රකට පෞරුෂත්ව ගති ලක්ශන පෙන්නුම් කිරීම සිදු වන අතර කුඩා කල සිදු වූ අමිහිරි මතකයන් හා අසතුටුදායක චිත්තවේගයන් නිසා අප තුල නිර්මාණය වන අප්‍රකට පෞරුෂත්ව පැතිකඩයන් නිර්මාණය වේ. ඒවා බොහෝ දුරට අප පිටත සමාජයට නොපෙන්වන පෞරුෂත්ව ගති ලක්ශනයන් වේ. ඇතැම් විට අප තුල ඇති වන මානසික ඇද වැටීම් තුලින් අප කෙරෙන් පෙන්නුම් කරනු ලබන්නේ මේ අප්‍රකට පෞරුෂත්ව ගති ලක්ශන වල සම්මිශ්‍රණයකි.
නමුත් ඔබ තුල ඇති අප්‍රකට පෞරුෂත්ව පැතිකඩ සැමවිටම ඔබගේ දුර්වලතාවයක් විය නොහැකි අතර එය ඔබ තුල පවතින ප්‍රබලතාවයක් ලෙසද හඳුනා ගත හැකි වේ.නමුත් එම පෞරුෂත්ව පැතිකඩ ඔබ තුලින් පෙන්නුම් නොකරන්නේ එහි කිසියම් ගැටලුකාරී තත්වයක් පවතින නිසාය.
ඔබ යනු සංකීර්ණ පුද්ගලයකු ලෙස හැඳින්වීමට මා කැමතිය. ඔබ නිර්මාණය වී ඇත්තේ ජෛව විද්‍යාත්මක සාධක වලට මනෝවිද්‍යාත්මක සාධක එකතු වී ඒ තුලින් සමස්ත හැසිරීම ඔබ තුලට එකතු වීමෙනි. ඒ නිසා ඔබ යනු සංකීර්ණ පුද්ගලයකු යැයි හැඳින්වීම වරදක් නැතැයි මා සිතමි. මෙලොව වෙසෙන අනෙක් සත්වයන්ට සාපේක්ෂව මිනිසා සංකීර්ණ සත්වයෙකි .මන්ද ඉපදුන වහාම මුව පැටවෙකුට වුවත් කිහිප විටක් උත්සාහ දැරීමෙන් පසු තනිව ඇවිද යාමට හැකියාව ඇතත් මිනිසාට උපන් විගස එසේ කිරීමට හැකියාවක් නොමැත.උපතේ සිට ඔබ සංකීර්ණ අයුරින් සෑම දෙයක්ම ඉටු කර ගැනීමට නිර්මාණය වී ඇත. කුඩා කල දෙමව්පියන් යටතේ ඔවුන්ගේ මග පෙන්වීම යටතේ හැදී වැඩී කෙමෙන් වයසින් මුහුකුරා යත්ම තමා විසින්ම තමා සංවර්ධනය කර ගැනීමට ඔබට සිදු වේ. එම නිසා ඔබ සංකීර්ණ පුද්ගලයකු ලෙස හැඳින්වීමේ වරදක් නැතැයි මා සිතමි.
ඔබ කවරෙකුද යන්න සොයා ගැනීම මා සඳහන් කල සංකීර්ණත්වය ඔබට පහසුවක් ගෙන දීමට හැකි අපූරු සොයා ගැනීමක් ලෙස සිතමු.ඔබ කවුරුන්ද යන්න සොයා ගැනීම බුද්ධිමත් ඔබට එතරම් බැරෑරුම් කාර්යයක් නොවන බවට මා විශ්වාස කරමි.එසේ නම් කල යුතු වන්නේ මුලින්ම ඔබ යනු සුවිශේෂී පුද්ගලයකු යන්නත් ඔබ සිතින් මෙනෙහි කරන්න,තම පරිසරයට නිරතුරුවම යහපත් ලෙස ප්‍රතිචාර දක්වන්න,තම චිත්තවේගයන් හඳුනා ගන්න,තම හැකියාවන් ඒ තුලින් සංවර්ධනය කර ගැනීමට තමන්ට හැකි නොහැකි සියලු දේ හඳුනා ගන්න, ජීවිතයේ එකම රාමුවකට කොටු නොවී තම නිදහස අන් අයට බාධාවක් නොවන අයුරින් බුක්ති විඳීමට උත්සාහ ගන්න, තමන්ට වඩා උසස් වුවත් තමන්ට වඩා පහළ මට්ටමේ කෙනෙකුට වුවත් ගරු කරන්නට පුරුදු වන්න,හොඳ මිතුරන් ආශ්‍රය කරන්න,හැමදාමත් අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න,ඉගෙන ගත් දේ අන් අය සමග බෙදා ගැනීමට තරම් කාරුණික වන්න, එවිට ඔබට ඔබවම හමු වනු ඇත.
ජීවිතයේ ආත්ම පරිපූර්ණ අවධියට ඔබ පත් වන්නේ ඔබට ඔබවම හමුවී,ඔබ ,ඔබ පිළිබඳව තෘප්තියක් ලබා ගත් දිනක වේ.ජීවිතයත් හරියටම කිව්වොත් ශදුවත විශ්ලේෂණයක් වගේ. (SWOT Analysis )අප තුළ පවතින ශක්තීන්,දුර්වලතා ,අවස්ථා හා තර්ජන හඳුනාගෙන ඒ තුළින් ශක්තීන් වැඩි කර ගනිමින් අවස්ථා උදා කර ගැනීමටත් දුර්වලතා අවම කර ගැනීමෙන් තර්ජන මඟ හරවා ගැනීමටත් අපට අවස්ථාවක් ජීවිතයේ දී ලැබෙනු ඇත. ඉතින් ඔබ තවමත් ප්‍රමාද නැත. පටන් ගන්න අද අලුතින් ජීවිතය.අලුත් අවුරුද්දේ පළවෙනිම දවසෙ ඉඳන්,ඔබට ඔබ හමු වනවා නොඅනුමානයි.
~ රන්සි කරුණාරත්න ~
Comments
Post a Comment